“ අතීතයේදී ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියූ ලංකාව පසුගිය කාලයේ ඇතිවූ විවිධ බලපෑම් හමුවේ ආර්ථිකමය අස්ථාවරභාවයකට මුහුණ පෑවා. එහි ප්රතිඵල තවමත් ජනතාව භුක්ති විඳිමින් සිටිනවා. නැවතත් රට ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයාමට නම් නිෂ්පාදනය වැඩි කිරීම, අස්වැන්න අපතේ යාම අවම කිරීම, සැපයුම් ජාලය ශක්තිමත් කිරීම සිදු කල යුතුයි. මහපොළොව ජයගත යුතුයි. “ යනුවෙන් අතිගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පැවසුවේය.
එතුමන් මෙලෙස අදහස් දැක්වූයේ ඊයේ (05) පැවති ත්රිකුණාමල දිස්ත්රික්කයේ ජාතික ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහනේ ප්රගති සමාලෝචනයට එක්වෙමිනි.
අතිගරු අග්රාමාත්යතුමන්ගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය විසින් දීපව්යාප්තව ක්රියාත්මක කරන ජාතික ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහනේ ත්රිකුණාමල දිස්ත්රික් ප්රගති සමාලෝචනය මෙහිදී සිදුකරන ලදි.
මේ සඳහා ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාලයට එක්වූ රාජ්ය නිලධාරීන් සමඟ අතිගරු අග්රාමාත්යතුමන් සාකච්ඡාවක් පැවත්වූ අතර ත්රිකුණාමල දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා විසින් දිස්ත්රික්කයේ ප්රගතිය පිලිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා විසින් ජාතික ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් කියා සිටියේ දිස්ත්රික්කයේ ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම, රැකියා හා ව්යාපාරික සුරක්ෂිතභාවය, පෝෂණය මෙන්ම පවුල් සෞඛ්ය නඟාසිටුවීම, අධ්යාපන සුරක්ෂිතභාවය, කාන්තා, ළමා හා ප්රජා අයිතිය සුරැකීම, වැඩිහිටි හා විශ්රාමික ප්රජාවගේ සුරක්ෂාව සහතික කිරීම සහ වෙළඳපල ආරක්ෂණය සැලසීමට මූලිකත්වය ගන්නා බවයි.
මෙම අවස්ථාවේදී වන අලින්ගේ හානි නිසා දිවි අහිමි වූ , ශරීරාබාධ ඇතිවූ, දේපල හානි වූ පුද්ගලයින්ට වන්දි මුදල් බෙදාදීම සහ කුඩා ව්යාපාර සංවර්ධන අංශය විසින් පැවත්වූ ව්යවසායකත්ව පුහුණුව නිම කල පිරිසකට සහතික පත්ර ලබාදීමද මෙහිදී සිදුවුණා.
මෙම අවස්ථාවට රාජ්ය අමාත්යවරුන් වන ජානක වක්කුඹුර මැතිතුමා සහ අශෝක ප්රියන්ත මැතිතුමා, ජනාධිපති උපදේශක බී.එස්.එම්. බටගොඩ මැතිතුමා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්දිල් තොණ්ඩමන් මැතිතුමා, ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරල මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රී අතාඋල්ලා මැතිතුමා, නැගෙනහිර පළාත් ප්රධාන ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සම්බන්ධ වූහ